The use of 'BE' itself
ANV GUIDANCE FOR ENGLISH
(A beginning of a series of English lessons)
ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමෙහි ඇලුම් කරන ළමා වැඩිහිටි ඕනෑම අයකුට ප්‍රයෝජනවත් වියහැකි යමක් නූතන සන්නිවේදන තාක්‍ෂණය ඔස්සේ සිදුකළ යුතුයැයි කලක සිට මගේ සිතෙහි තිබිණ. වසර 30 කට වැඩි කාලයක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නියැලුණු ඉංග්‍රීසි විශේෂ පුහුණු ගුරුවරයකු ලෙස ලැබූ අත්දැකීම් සහ අධ්‍යනය කරන ලද ඉගැන්වීම් රටා පාදක කර ගනිමින් එම කාර්යය ඉටු කිරීම යුතුකමක් සේ මා සැලකු නමුත් එය දිනෙන් දින අතපසු විය. දක්ෂ උපාධිධාරී ගුරුවරයකු මෙන්ම පුරාවිද්‍යා පර්යේෂණ නිලධරයකු ලෙස සේවය කොට දැනට ඉසුඹු ලබා සිටින මගේ වෘත්තීය සගයකු වන නිමල් කරුණාතිලක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය සම්බන්ධ ලිපි පෙළකට අවතීර්ණ වීමත් සමග මට ද මගේ කාර්යයට පිවිසීමට ජවයක් ලැබිණ. ඔහුගේ පුත්‍රයකු මෙන්ම මගේ ශිෂ්‍යයකු වන මෘදුකාංග ඉංජිනේරු මලිඳු පබසර කරුණාතිලක ගෙන් ලැබුණු තාක්ෂණික සහය ද ප්‍රබල උත්තේජනයක් විය.
ලක්දිව බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිඵලයක් හැටියට ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව තරම් ම අප වටා එතී ඇති අතර බාල මහලු සැමගේ භාවිතය තුළ ඉංග්‍රීසි වචන සිය ගණනක් සැරිසරයි.සියලු දරුවෝ ඉංග්‍රීසි උගනිති.බොහෝ ගුරුවරු ඉංග්‍රීසි උගන්වති. එහෙත් ඉංග්‍රීසි ඌණතාවයෙන් සමාජය පෙළේ. ඊට ප්‍රධාන හේතුව අවබෝධයෙන් යුතුව භාෂාව හැදෑරීමේ අවස්ථා විරල වීම යැයි සිතේ.එම ඌණතාවය සුළුවශයෙන් හෝ පියවීම සඳහා මෙම උත්සාහය ප්‍රයෝජනවත් වේයැයි සිතේ.
ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට පහසු භාෂාවක් යැයි මතයක් සමාජයෙහි තිබේ. එය ද සත්‍ය යැයි සිතිය හැකි සාධක තිබේ. සිංහල භාෂාව සමග සසඳමින් ද සමාන අසමානතා හඳුනා ගනිමින් ද ඉගෙනීමට හැකියාවක් තිබීම එක් හේතුවකි.සිංහලයෙහි නැති තර්කන න්‍යායක් ඉංග්‍රීසි කුඩා වැකියක් තුළ පවා තිබීම ද තවත් හේතුවකි.ආරම්භක අවධියේදී මෙම තර්කන න්‍යාය හඳුනා ගැනීමෙන් පසු භාෂාව සිතට සමීප වී භාෂාව ඉගෙනීමේ ආශාව ඇතිවී ලිවීම කියවීම තේරුම් ගැනීම සහ කථනය වේගවත් කරගැනීමේ හැකියාව ලැබේ ය යන්න මගේ විශ්වාසයයි. එහෙයින් මෙම පාඩම් මාලාව ඉතා සරල තැනකින් අරඹා උක්ත තර්කන ක්‍රියාවලියට අනුගත වන සේ ඉදිරියට ගෙන යාම මගේ අරමුණයි.
ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අසවල් තැනින් ඇරඹිය යුතු යැයි නියමයක් නැති හෙයින් මෙම පාඩම් මාලාව ඉතා සරල තැනකින් ඇරඹීමට කැමැත්තෙමි.ඒ නිසා පළමු පාඩම අකුරු දෙකකින් යුත් ‘BE’පදයෙන් අරඹමු.
LESSON 01 -
BE පදයේ භාවිතය කෙසේද යන වග (How to use ‘be’)
'Be'පදයභාෂාව තුළ සුලභව යෙදේ. එහි ප්‍රභේද කිහිපයක් තිබේ. ඒවා පසුව සාකච්ඡා කෙරෙන අතර මේ පාඩමේදී අපි ‘be’ පදය එසේම යෙදෙන සරල අවස්ථාවක් විමසා බලමු. ‘BE’ පදය සිංහලයෙහි ‘වෙන්න’ ‘සිටින්න’’තිබෙන්න’ තේරුම් වලට සමාන්තර වේ.
BE පදය මුලට යොදා ඉදිරියෙන් නාම විශේෂණයක් (adjective) යෙදීමෙන් ‘ඉල්ලීමක්’ හෝ ‘නියෝගයක්’ ප්‍රකාශ කළ හැක. එහෙත් ඒ සිංහලයෙහි යෙදෙන ආකාරයට නොවේ.
‘අවංක වෙන්න’ (මෙහි ‘වෙන්න’ යන පදය ඉංග්‍රීසි භාවිතයේදී යෙදෙන්නේ මුලට ය. ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය වන්නේ තර්කයකට අනුව බවට මෙය සරල උදාහරණයකි.)
Be ……….(what?) honest. (ඔබ Be කියා නැවැත්වුවහොත් අසන්නාට what කියා අසන්නට සිදුවේ. එවිට ඔබට honest වැනි පදයකින් පිළිතුරු දියහැක.
Be sincere (සින්සියර්) අවංක වෙන්න
Be active (ඇක්ටිව්) ක්‍රියාශීලී වෙන්න.
Be ready (රෙඩී) සූදානම් වෙන්න.
Be calm (කාම්) සන්සුන් වෙන්න.
Be clever (ක්ලෙවර්) දක්ෂ වෙන්න.
Be wise. (වයිස් ) ඥානවන්ත වෙන්න.
Be thoughtful (තෝට්ෆුල්) කල්පනාකාරී වෙන්න.
Be diligent (ඩිලිජන්ට්) උද්යෝගිමත් වෙන්න.
Be gritty (ග්‍රිටී) ධෛර්යමත් වෙන්න.
Be competent (කම්පිටන්ට්) කාර්යක්‍ෂම වෙන්න.
.(Quiet (ක්වෛට්) නිහඬ,නිශ්ශබ්ද,නිසල glad (ග්ලැඩ්) සතුටු happy (හැපී)ප්‍රීති polite (පොලයිට්) විනීත confident (කොන්ෆිඩන්ට්) විශ්වාසනීය, එඩිතර) වැනි විශේෂණ පද යොදාගන්න.
ඉල්ලීමක් වඩාත් විනීත ලෙස කිරීමට මෙම වාක්‍යවල අගට හෝ මුලට please (කරුණාකර) යන්න යෙදිය හැක.
ex: Please be thoughtful.
Be thoughtful please.
Be පදයට ඉදිරියෙන් a/an දෙකෙන් එකක් සමග ගැලපෙන නාම පදයක් යෙදීමෙන් යම් තත්ත්වයකට පත්වන ලෙස ඉල්ලීමක්/උපදෙසක් දියහැක.
Be a teacher.(ගුරුවරයෙක් වෙන්න.)
Be a good teacher.
Be a good clever teacher.
Be an athlete.
Be an author.
Be a good Sri Lankan.
Be a good reader.
Be my best friend.
Be my life partner.
Be a friend of mine.
Be an honest man.
Be a good wife.
Be an intelligent person.
Be a human. (තේරුම් නොදන්නා වචන ඩික්ෂනරියෙන් සොයා දැන ගැනීමට උනන්දු වන්න. my, our,your,his,her,its, their යන පදවලට මුලින් a/an යෙදිය නොහැක.)
තවත් කොටස් එකතු කොට මීට වඩා දිග වැකි දෙවැනි අදියරේදී සාදමු.
( මෙහි දෙවැනි කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න. අපැහැදිලි තැන්, අඩුපාඩු, ගැටළු ඇතොත් COMMENTS කරන්න.මේ පාඩම් මාලාව අතරතුර ඔබත් භාෂාවත් අතර ඇති දුරස්ථ භාවය අවම කරගැනීමට සහ කතා කිරීම හුරු කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. තවත් කෙනකුට ප්‍රයෝජනය පිණිස SHARE කරන්න.අධිෂ්ඨාන සහගතව වසරක් උනන්දු වන්න.ඔබ උද්යෝගයෙන් පිරී යනු ඇත.ස්තුතියි. )
#SL
#englishteacher
#englishvocabulary
#englishgrammar
#English
#education
Comments
Post a Comment